Celebrity Gossip

දැන් තියන හැම දේම ඩීල් තමයි ඇඟ මහත් වුණ නිසා නෙවෙයි රඟපාන්නෙ නැත්තෙ

හිමාලි සිරිවර්ධන කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් ද වෙනවා. ඒ නිසාම ඇය කුඩා දරුවන්ගේ රියැලිටි වැඩසටහන් වල විනිසුරුවරියක් ලෙසත් කටයුතු කරනවා. පසුගිය දවස් වල දී ඇයව අපිට රංගන ක්ෂේත්‍රය තුළ දකින්නට ලැබුණේ නැහැ. ඉතින් ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සහ ඇයගේ නවතම තොරතුරු ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට පවසා තිබුණා. ඒ මේ විදිහට.

“මේ දවස් වල මම මගේ පවුලේ අයත් එක්ක ඉතාම සතුටින් කාලය ගත කරනවා. ඇත්තටම මං කලා ජීවිතෙන් හැංඟුනේ නෑ. අවුරුදු තුනක්ම මම මගේ දරුවා වෙනුවෙන් කාලය වැය කළා. අම්මගේ ආදරය, උණුසුම අවශ්‍යම අවධියක ඒ ආදරය, රැකවරණය එයාගෙන් උදුරගන්න මට හිත දුන්නෙ නැහැ. ඒ හින්දා මම ටෙලිනාට්‍ය බාර ගත්තේම නැහැ. නිදහසේ පුතා එක්ක හරිම ලස්සන කාලයක් ගෙව්වා.

ඇත්තටම බොරු ගොසිප් එකක් ගිහින් තිබුණා මගේ ඇඟේ බර වැඩි නිසා මම ටෙලි නිර්මාණ වලට සම්බන්ධ වෙන්නෙ නැහැ කියල. ඇත්තටම දරුවා ලැබිලා ඉන්නකොට නං ටිකක් මහත් උනා තමයි. ඒත් ටෙලි නිර්මාණ සඳහා සහභාගි වුණේ නැත්තේ ඒ නිසා නම් නෙවෙයි. පුතාට අවුරුදු දෙක පහුවෙන කොට මම මගේ ඇඟ තිබුණටත් වඩා හැඩට හදාගත්ත කියලත් කියන්නම ඕනෑ. මොකද මම මහත් වෙන්න හරිම අකැමැතියි.

ඇත්තටම මීට අවුරුදු ගණනකට පළමුව කලාකරුවන් අතර තිබූ බැඳීම් , සැලකිල්ල කලාකරුවන්ට අද ලැබෙන්නේ නැහැ. අද ටෙලි කලාව හරි වෙනස්. සියල්ල යාන්ත්‍රිකයි. ගරුකිරීම් නැහැ. ගනුදෙනු සංවේදී මට්ටමක නැහැ. සියල්ලම වාගේ ‘ඩීල්’ එකක් විතරයි.”

මේ විදිහට තමයි ඇය පවසා තිබුණේ. ඉතින් ඇයගේ සියලු ම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.