Celebrity Gossip

මම ඒ දවස් වල රැවුල කපලා තරුණ පෙනුමක් ගන්න උත්සාහ කළා

හෙක්‍ටර් ඩයස් කිව්වම මුලින්ම අපිට මතක් වන්නේ නිල්වන් මුහුදු තීරේ ගීතයයි.ඒ වගේම මෑතකදී ටෙලිවිෂනයේ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ අගස්ති චරිතය ද අපගේ මතකයට නැගෙනවා.නිල්වන් මුහුදු තීරේ ගීතයට නව මුහුණුවරක් එක් කරමින් නව නිර්මාණාත්මක වීඩියෝවක් සමගින් මාධ්‍ය ඔස්සේ ඉතා ශීඝ්‍රයෙන් එම ගීතය පැතිරුණ නිසා හෙක්‍ටර් ඩයස් යන නාමය ප්‍රේක්ෂකයන් අතර නිතැතින්ම කතාබහට යොමු වුණා.ඒ වගේම තමයි දිවිතුරා ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායකවීමට ඔහුට මුල් අඩිතාලම තැනුණේ මෙම ගීතය ඔස්සේ බවත් ඔහු පවසනවා.පසුගියදා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ මොහු ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්.

“මම ඉස්සර ඉඳන්ම කොහොමත් සංගීතයට ඉතා ප්‍රිය කළ කෙනෙක්.මට සංගීතය පිළිබඳව ඉතා දිගු අත්දැකීම් තියෙනවා.මම අවුරුදු 5ක් ජාතික තරුණ වාදක කණ්ඩායමේ වාදනය කලා.ඒ වගේම අවුරුදු 14ක් මේරියන්ස් සංගීත කණ්ඩායමේ වාදකයෙක් ලෙස සේවය කළා.ඉන්පසු මම මගෙම කියලා සංගීත කණ්ඩායමක් අවුරුදු 9ක් තිස්සේ පවත්වාගෙන යනවා.ඒකේ නම තමයි D major.බොහෝ රසිකයින් මාව දැනගත්තේ වාදකයෙක් විදියට.මම සැක්සෆෝන් වාදනයට ඉතාමත්ම දක්ෂයි.ගායනයටත් මම දක්ෂතා දක්වපු නිසා ගායනය වාදනය කියන දෙකම මට ප්‍රගුණ කරගන්න පුළුවන් වුනා.”

“ඇත්තටම රංගනය කියන දේ මට හරිම අලුත් අත්දැකීමක්.දිවිතුරා කියල කියන්නේ මගේ මුල්ම ටෙලි අත්දැකීම.ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි එම ටෙලි නාට්‍යයේ මම පණ පොවන අගස්ති චරිතයයි මගේ ඇත්ත ජීවිතයේ හෙක්‍ටර් ඩයස් කියන චරිතයයි දෙකම එක වගේ ද කියලා.ඇත්තම කිව්වොත් ඒක එහෙම නෑ.මොකද අගස්ති කියලා කියන්නේ ටිකක් සැර පරුෂ කෙනෙක් සහ ඉක්මනට කේන්ති යන කෙනෙක්.නමුත් මගේ ඇත්ත ජීවිතේ ඊට හාත්පසින්ම වෙනස්.මම මගේ ජීවිතේ ගත කරන්නේ හරිම නිදහස් විදිහට.මම ඇත්තටම ගොඩක් නිහතමානී සහ තැන්පත් චරිතයක්. අගස්ති චරිතයේ සමහර කේන්ති යන කොටස් මට කරන්න හරිම අමාරුයි. ඒ වගේ වෙලාවලදී මේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක චාමර ජයවීරගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා .”

“ඇත්තටම මම මේ දේත් කියන්න ඕනේ.මගේ ජනප්‍රිය බවට සංගීතය වගේම මගෙ පෙනුමත් ගොඩක් දුරට බලපෑවා.මම ඉස්සර රැවුල කපනවා මගේ මූණට තරුණ පෙනුමක් ගන්න.නමුත් එක කාලෙකදි මම රැවුල වවනවා.එතකොට මගේ බිරිඳ කියනවා ඒ විදිහ මට හොඳයි කියලා.නිල්වන් මුහුදු තීරයේ ගීතයට මම පෙනී සිටින්නේ මගෙ ස්වාභාවික පෙනුම සමගින්.මම ඇත්තටම හිතුවේ නැහැ ඒ පෙනුමට මෙච්චර රසිකයන් ආදරය කරයි කියලා.” තමයි අවසාන වශයෙන් ඔහු පවසා සිටියේ.

හෙක්‍ටර් ඩයස් කියලා කියන්නේ වයස් භේදයකින් තොරව විශාල රසික පිරිසකගේ ආකර්ෂණය දිනාගත් අපූරු ගායන ශිල්පියෙක් වාදන ශිල්පියෙක් මෙන්ම රංගන ශිල්පියෙක්.ඉතින් ඔහුගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් නව කලා නිර්මාණ රැසකින් ප්‍රේක්ෂක හමුවට ඒමට ලැබේවායි සුබ පතනවා.