Celebrity Gossip

පාන් කාලයි පරිප්පු හොදියි කාලා සිකුරුටි කෙනෙක් විදිහට කට්ට කාපු කාලෙකුත් තිබුණා

දිමංක වෙල්ලාලගේ කියන්නේ අද වන විට නව පරපුරේ සිටින ඉතාමත් ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඔහුගේ නම කියූ සැණින් ම අපට මතක් වන්නේ ගීත නිර්මාණයන් පෙළක්. ඒ තරමටම ඔහුගේ ගීත රසිකයන්ගේ සිත් සොරා ගෙන අවසානයි. එකම එක ගීතයකින් ඉතාම කෙටි කාලයක් තුළදී ගායකයෙක් බවට පත් වූ දිමංක කුඩාකල ජීවත් වූයේ හික්කඩුව ප්‍රදේශයේයි. ඔහුගේ පියා යුද හමුදාවේ සරඹ උපදේශක වරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්. කුඩා කල පටන්ම දිමංක සංගීතයට සුවිශේෂි දක්ෂතාවයක් දැක්වූ අතර ගණිත විෂය සඳහා තරමක් දුර්වල සිසුවෙක් වුණා. ඉතින් පසුගිය දිනෙක දී ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පිළිබඳ නොදන්නා තතු බොහොමයක් රසිකයා සමග බෙදා ගත්තේ මේ අයුරින්.

‘ඇත්තටම කිව්වොත් මට අනාගතය ගැන ලොකු සැලසුම් බලාපොරොත්තු තිබුණෙ නැහැ. මම ක්‍රිස්තියානි පසුබිමක කෙනෙක්. අපි කොහොමත් යාළුවෝ ටික නිතරම සාදවලට සම්බන්ධ වෙවී හරිම සැහැල්ලුවෙන් සිටියේ. හැබැයි වයස අවුරුදු 18ක් විතර වනවිට ජීවිතය කුමක්ද, කළයුතු කුමක්ද කියන දේවල් මට වැටහෙමින් තිබුණා. මම අවුරුදු දහඅටේදී නාවික හමුදාවට එකතු වෙනවා. ඊට පස්සේ කාලයකට පසුව මං එයින් ඉවත් වෙනවා.

මගේ තීරණවලට වෙන කාගෙන්වත් උපදෙස් ලැබෙනවාට මම කැමැති වුණෙත් නැහැ. මට සේවයෙන් ඉවත්වෙන්න ඕන කියලා හිතුණා. මම ඉවත් වුණා. හැබැයි ටික කලකදී මම ආයෙත් නාවික හමුදාව සමඟ එක්වෙනවා. මගේ දෙමව්පියන්, හිතවතුන් ගොඩක් අය එතැනදී සතුටුවෙන්න ඇති. ඒත් ඒ සතුට එයාලට එතරම් කාලයක් විඳින්න් ලැබුණේ නැහැ. මොකද මම ආයෙමත් නාවික හමුදාවෙන් ඉවත් වුණා. හේතුව තමයි ඒ වන විටත් මම සංගීතයට එක්වන වගට තීරණයකට එළඹ සිටීම.

මම පෞද්ගලික සමාගමක ආරක්ෂක නිලධාරියකු ලෙස වසර එකහමාරක් විතර සේවය කළා. ජීවිතේ තරුණ කාලය කියන්නෙ හොඳට කාලා බීල ඉන්න ඕන කාලයක්නේ. ඒ කාලේ ඉතින් පාන් ගෙඩියක් දෙකක් කන්න ඕන. ඒත් මට උදේට හම්බවුණේ පාන් කාලයි පරිප්පු හොදියි. පුදුම විදියේ දුක් කරදරවලට මට මුහුණ දෙන්න වුණා. ඒත් ඒ මම ගත්ත තීරණය නිසා ඒවා මම ලොකු ඉවසීමකින් දරාගත්තා.

මේ සියලුම වේදනාත්මක කාලයන්හිදී මගේ ජීවිතයට ආදරය සෙනෙහස නොඅඩුව ලබාදුන්න මගේ චින්තියා හැමවෙලාවෙම මුළු හදවතින්ම මගේ ළඟ හිටියා. ඔයාට පුළුවන්, අපි අලුත් ගමනක් යමු කියලා එයා මාව දිරිමත් කළා. ඒ වගේම මගේ පවුලේ අය. එයාලාගේ ආදරය නිසා මම ආයෙ ඉපදුණා’

මේ විදියට තමයි ඔහු එහිදී කියා සිටියේ. ඉතින් ජීවිතේ දුෂ්කරම කාල පරිච්ඡේදයන් පසුකරමින් සංගීත ලොවේ හිණි පෙත්තටම යාමට ඔහු වාසනාවන්ත වුණා. ඉතින් ඔහුගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.