Celebrity Gossip

මට විවිධ පුද්ගලයන්ගෙන් ලැබුනේ විවිධ අත්දැකීම් – දිල්හානි වීරසිංහ

දිල්හානි වීරසිංහ කියලා කියන්නේ නවක පරපුරේ සිටින ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්.ඇය ආධුනික රංගන ශිල්පිනියක් වුවත් ඉතාමත්ම දක්ෂ ලෙස රංගනයේ නියැළෙන නිසා ඉතා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හා ආදරයක් දිනා ගැනීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා. පසුගිය දිනවලදී අහස් මාලිගා,හුස්මක් තරමට, සුසුමක ඉම වැනි ටෙලි නාට්‍යවල ඇයව අපට පුංචි තිරයේ දැකගන්නට පුළුවන් වුණා.ඒ වගේම තමයි මේ දිනවල දී අතිශය ජනප්‍රිය වෙමින් ජාතික රුපවාහිනියේ විකාශනය වන සකල ගුරු ටෙලිනාට්‍ය ඔස්සේ ද අපට ඇයව දැක ගන්නට පුළුවන්.ඉතින් ඇයගේ මෙම ජීවිත ගමන පිළිබඳව අපත් සමඟ අදහස් දැක්වූයේ මේ අයුරින්.

“මට රංගනයට අවස්ථාව ලැබෙන්නේ 2014 වර්ෂයේ රූපවාහිනී අවුරුදු කුමරිය තරගයට සහභාගි වීමෙන් පසුවයි.ඇත්තටම මම ඉස්සර ඉදන්ම කැමැත්තෙන් හිටියේ හොඳට ඉගෙනගෙන රංගනයෙන් ඉදිරියට යෑම.මම පුංචි කාලේ ඉඳන් නර්තනය විෂයක් විදියට හදාරලා තියෙනවා.වගේම ඉස්කෝලෙ යන කාලෙ නාට්‍ය හා රංග කලාව සහ නර්තනය විෂයන් දෙක ඔස්සේ තමයි මම උසස් පෙළ හදාරන්නෙ.ඒ නිසා තමයි ප්‍රාසංගික කලාවේදී උපාධිය ලබාගෙන තවදුරටත් ඉගෙනීම් කටයුතුවල යෙදිලා ඉන්නේ.

ඇත්තටම මම නර්තනය පිළිබඳව මේ වන විට සම්ප්‍රදායන් හතරක් හදාරලා තියෙනවා.එනිසා මට හොඳට නටන්න පුලුවන්.නමුත් රංගනයත් මම ඉතාමත්ම ආසාවෙන් කරන දෙයක්.රංගනයේදී මගේ ජීවිතයට විවිධ අත්දැකීම් ලැබුණා.ඒ වගේම තමයි විවිධාකාර ගති පැවතුම් තියෙන මිනිස්සු ආශ්‍රය කරන්නත් ලැබුණා.එයාලගෙන් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.

ඉස්සර නම් මම ආස වෙලා හිටියෙ ගුරුවරියක් වෙන්න.නමුත් මේ වන විට රංගනය නිසා මට ලැබිලා තියෙන ප්‍රතිචාරත් එක්ක ඒ ඉලක්කය වෙනස් වෙලා රංගනය වෘත්තියක් විදිහට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මම නිතරම හිනා වෙලා ඉන්න ආස කෙනෙක්.කේලම් සහ ඕපදූප වලට කැමති නැහැ.ඒ වගේම තමයි හිස් දේවල් කථා කරන්න කැමතිත් නැහැ.කොහොමහරි රංගන ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතිං ඇයගේ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.