Celebrity Gossip

මගේ ප්‍රාණය නිරුද්ධ වෙන තෙක් මගෙ දරුවන්ට මම ආදරෙයි – චන්න පෙරේරා

චන්න පෙරේරා නම් රංගනවේදියා ලංකාවේ පුංචි තිරයේ මෙන් ම රිදී තිරයේ ද බොහෝ නිර්මාණවලට සිය රංගන දායකත්වය දැක් වූ අපූරු රංගධරයෙක්. ඔහු රංගන ක්ෂේත්රයේ පමණක් නොව සිනමාපට නිර්මාණකරණයේ ද මහත් වූ දස්කමක් දක්වනවා.ඔහු රිදී තිරයට හඳුන්වා දුන් නවක නළු නිළියන් පවා ක්ෂේත්‍රය තුළ ඉතාමත් ම ජනප්‍රිය වන අතර ඔවුන් හට ප්‍රේක්ෂකයන්ගේ ආදරය ද නිබඳවම ලැබෙනවා. මේ වන විට නව යොවුන් වියේ දියණියන් දෙදෙනකුගේ පියෙක් වුණත් අදටත් සිය කඩවසම් බව එලෙසින්ම පවත්වාගෙන යනවා.ඔබ අප කවුරුත් දන්නා පරිදි ඔහු විවාහ වූයේ ද රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ නිළියක් වන ගයාත්‍රි ඩයස් සමඟයි.දිගු කාලයක් ඔවුන් සාර්ථක ලෙස පවුල් ජීවිත ගත කළ ද ටික කලක් යනවිට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඔවුන් ගේ විවාහ සබඳතාව බිඳී යෑමට ලක් වුණා.මේ පිළිබඳව නොයෙකුත් කට කටකතා පැතිරුණත් එහි සැබෑ හේතුව දන්නේ ඔවුන් දෙදෙනා පමණයි.ඉතින් පසුගිය දිනෙකදී ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පිළිබඳව නවතම තොරතුරු රසිකයන් සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

“මේ දිනවල දී නම් චිත්‍රපටයේ වැඩ කටයුතුත් සමග ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.මම රංගන ශිල්පියෙක් ලෙස මෙන්ම සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් මගේ වෘත්තිමය වැඩ කටයුතු සිදු කරගෙන යමින් සිටිනවා.ඒ වගේම තමයි ඒ පැතිකඩයන් දෙකම ඔස්සේ මම ඉහල ජනප්‍රියතාවක් ලබනවා.ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.මම හිතන විදියට මම එදා මෙදා තුර රංගන ශිල්පියෙක් වශයෙන් ලොකු ජනප්‍රියතාවක් ඉසිලුවේ නාලන් මෙන්ඩිස් මහත්මාගේ “සත්පුර වැසියෝ” ටෙලි නාට්‍යයේ පැතුම් ගේ චරිතය හරහායි.ඒ වගේම තමයි මම අධ්‍යක්ෂණය කරපු අංජලිකා චිත්‍රපටයටත් මම හිතපුවත් නැති තරම් ප්‍රතිචාර ලැබුණා.

මම සාමාන්‍යයෙන් මගේ විවේක කාලය ගත කරන්න ගීත ගායනා කරනවා.වගේම තමයි චිත්‍රපටත් බලනවා.හැබැයි දැන්නම් මම ගොඩක් වෙලාවට මගේ විවේක කාලය ගත කරන්නේ ආධ්‍යාත්මික දියුණුව ලබාදෙන ධර්ම පොත් කියවන්න.ඒ ඇසුරෙන් තොරතුරු සොයා යන්න තමයි මම ගොඩක් කැමති.ඒ වගේම තමයි මම චාම් සරල විලාසිතා කරන්නත් ගොඩක් කැමතියි.වයස කියන්නේ ඉලක්කමක් විතරයි.ඒක අපි හිතින් හදා ගත්තු දෙයක්.ඒ නිසා විලාසිතා කරන්න අපේ වයස බලපාන්නේ නැහැ.

මගේ ජීවිතයේ ආදරය ගැන කතා කළොත් ආදරේ ලැබෙන තැන් වලින් නතර වුණා.ආදරේ නොලැබෙන තැන් වලින් ඈත් වුණා.ඒක හැමෝටම පොදු ධර්මතාවක්.මගේ ජීවිතේ මම වැඩිපුරම ආදරය කරන්නේ මගේ දුවලා දෙන්නට.මගේ ප්‍රාණය නිරුද්ධ වෙනකන් ඒ ආදරේ එහෙමමයි.මගේ ජීවිතයේ මම ඉතාමත්ම කටුක අද්දැකීම් 2ක් ලබලා තියෙනවා.ඉන් එකක් තමයි මගේ පියාගේ වියෝව.අනිත් එක තමයි මම තරුණ වියේදී ආදරය කරපු මගේ පෙම්වතියගේ හදිසි වියෝව.මේ අත්දැකීම් දෙකම මගේ ජීවිතේ ඉතාමත්ම අමිහිරි කටුක අත්දැකීම් දෙකක්.”

යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.ඉතිං කලා ක්ෂේත්‍රය තුළ මහඟු මෙහෙවරක් සිදුකරන ඔහුගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.