Celebrity Gossip

පරිණත වෙන්න වෙන්න අපි දෙන්නගෙ ආදරය තවත් වැඩි වෙනවා – බිමල් ජයකොඩි

බිමල් ජයකොඩි කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින අති දැවැන්ත රංගන පෞරුෂයක්. ඔහුටම ආවේණික වූ තාත්වික රංගනයත් හැඩතලයත් නිසාම බොහෝ රසික රසිකාවියන්ගේ නිරන්තර ආදර ගෞරවයට පාත්‍රවීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. හොඳම ශබ්ද පරිපාලනයට , නැඟී එන නළුවා, සහය නළුවා, ජූරියේ විශේෂ කුසලතා, හොඳම නළුවා ආදී විශිෂ්ට ගණයේ සම්මානයක් රාශියකට උරුමකම් කීමට වාසනාව හිමි වුන මේ අපූරු රංගධරයා මේ දිනවල දී අපට රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නාට්‍ය ඔස්සේ දැකබලා ගන්නට පුලුවන් වෙනවා. ඉතින් පසුගිය දිනක දී ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුගේ ජීවන තොරතුරු පිළිබඳව හරි අපූරු විග්‍රහයක් කරලා තිබුණා. එහිදී ඔහු සඳහන් කරනු ලැබූ කරුණු කීපයක් ඔබ වෙත ගෙන ඒමට අප සිතුවා.

මාධ්‍යවේදියා විසින් රංගනය වෘත්තයක් ලෙස කරගෙන යෑමේ දී අපහසුතා ඇති වන්නේ නැතිද යන්න ඇසූ පැනයට ඔහු පිළිතුරු දුන්නේ මෙන්න මේ විදිහට.

“ඇත්තටම මේ කාලපරිච්ඡේදයට අනුව කිසිදු ආකාරයක ජීවන වෘත්තියක් කරගෙන ජීවත් වීම පහසු කාර්යයක් නෙවෙයි. රංගන ශිල්පියෙක් විදිහට තමන්ගේ වටිනාකම හොඳින් තේරුම් අරගෙන එයට ගැළපෙන ආකාරයෙන් තම හැකියාව පාවිච්චි කරනවා නම් මං හිතන විදිහට රංගනය විතරක් නෙවෙයි ඕනෑම වෘත්තියක් කරගෙන යාමට අපහසුවක් නැහැ. ඒ වගේම තමයි ඔහුට හෝ ඇයට ඒ පිළිබඳව හොද කළමනාකාරිත්වයක් සහ අභිලාෂයන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුමයි.”

ඒ වගේම තමයි ඔහු රූපවාහිනියෙ , වේදිකාවේ , සිනමාවේ මෙන්ම ගුවන්විදුලියේත් වැඩ කටයුතු කරගෙන යමින් සිටිනවා. ඉතින් එහිදී ඔහු හරි අපූරු ප්‍රකාශයක් කරනවා. ඒ මේ විදියට.

” මම මාව කොයිතරම් දුරට විකුණනවා ද කියන එක මම දන්නවා. මම විකිණෙන්නේ මොනවගේ ප‍්‍රමාණයකටද කියන එක ගැන මට පැහැදිලි අවබෝධයක් තියෙනවා. මම විකිණෙන්නේ කියන එක ගැනත් මම දන්නවා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම රංගන ශිල්පියෙක් විදිහට මගේ වෘත්තීමය ජීවිතය කාටවත් කරදරයක් නොවන විදිහට මටත් අපහසුවක් නොවන ආකාරයට මම ගෙවාගෙන යනවා.”

ඒ වගේම තමයි මාධ්‍යවේදියා ඔහුගෙන් හරි අපූරු පැනයක් විමසනවා. ඒ තමයි ඔහු ජීවිතයේ ගත්ත නිවැරදිම තීරණය කුමක්ද යනුවෙන්. එහිදී බිමල් ඔහුට පිළිතුරු දුන්නේ මෙන්න මේ විදියට.

“ජීවිතයේ ගත්ත නිවැරැදිම තීරණය විවාහය කියලයි මම හිතන්නේ. ඒ තුළින් මගේ ජීවිතයේ වෙනස්ම වූ මානයක් ගොඩනගා ගත්තා. ඒ තීරණය වැරැදුණා නම් අද මං කොතැනක ඉදිවීදි කියලා මං දන්නේ නැහැ. ඒත් දැනට මම හිතන්නේ බිමල් ජයකොඩි කියන චරිතය අද මෙතැන මේ විදිහට ඉන්නේ විවාහය නිසා. අපි දෙන්නට දෙන්නා සැමියා සහ බිරිද වීම ගැන තියෙන්නෙ ලොකු ආඩම්බරයක්. ආදරය ඉවසීම තේරුම් ගැනීම විශ්වාසය කියන දේවල් රැකගෙන ඉන්නවනම් ඕනම කෙනෙක්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අපි දෙන්නට දෙන්නගෙ රහස් නැහැ. ඒ වගේම දෙන්නට දෙන්නගෙ තරගයකුත් නැහැ. පරිණත වෙන්න වෙන්න අපි දෙන්නගෙ ආදරය තවත් වැඩිවීමක් තමයි වෙන්නෙ.”

මේ විදිහට තමයි ඔහු එහිදී අදහස් දක්වලා තිබුණේ. ඉතින් මේ ආදරණීය රංගධරයාගේ සියලුම වැඩ කටයුතු ඔහු සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.