අජිත් මුතුකුමාරණ සමග විවහා වූ කේ.සුජිවාගේ සොදුරු කැදැල්ල මෙන්න

Life Story

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ජනප්‍රිය තරු යුවලක් තමයි අජිත් මුතුකුමාරණ සහ කේ සුජීවා කියන්නේ. අපේ රටේ කැසට් පට ක්ෂේත්‍රයේ වාර්තා තැබූ ගායකයෙක් තමයි අජිත් මුතුකුමාරණ. මල් අජිත්, බස් අජිත් ලෙසින් ඔහුට නම් පට බැඳිලා තිබුණෙත් ඔහුගේ ගීත වල තිබුණ ජනප්‍රියත්වය නිසාමයි. සකුරා රේන්ජ් කියන නම ඇසූ සැණින්ද ඔහුව මතකයට එනවා. ඔහු විවාහ වුණේ ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායිකාවක් වුණ කේ.සුජීවා සමගයි. සංගීත ලෝලීන් අමන්දානන්දයට පත්කළ ඇගේ “ඉඟි ම-රණ තරු රෑන කෝ” ගීතය ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගීතයක් වුණා. මේ ගීතය ප්‍රසංග වේදිකාවේ ගැයෙද්දි ප්‍රසංගය නරඹන රසිකයන්ගේ දෙපා රිද්මයට නැටවුණේ ඉබේමයි. ඉතින් අජිත් මුතුකුමාරණ සහ කේ. සුජීවාගේ නවතම විස්තරයි මේ.

කේ සුජීවා කොහොමද ජීවිතේ.ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ අපේ රටේ ඇතිවුණු අමිහිරි සිදුවීම් මාලාවෙන් පටන්ගත්තම මේ අවුරුද්දේ ලොව පුරා පැතිර තිබෙනමේ තත්වය හින්දා ප්‍රසංග වේදිකාවට මරු පහරක් එල්ල වෙලා තියෙනවා. මේ වසංගතය නිසා රටේ අනිත් හැම ක්ෂේත්‍රයටම වගේම ප්‍රසංග වේදිකාවේ අපිට වැඩ නැතිම වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් සතියකට සංදර්ශන ගණනාවකට සහභාගි වෙච්චි මම අද වෙද්දි කිසිම සංදර්ශනයකට සහභාගි වෙලා නැහැ. නමුත් ඒකත් එක්කම ගෙදර අයත් එක්ක එකට ඉන්න තියෙන අවස්ථාව වැඩිවෙලා තියෙනවා.

ඔබේ මේ කාර්යබහුල ජීවිතයත් එක්ක රුව රැක ගැනීමේ රහස මොකක්ද.මම නිතරම හිත ගොඩාක් සැහැල්ලුවෙන් තියා ගන්නවා. ඒ වගේම මගේ ජීවිතයේ මට ලොකු ටාගට් නැහැ. ටාගට් තිබුණත් ඒ මත්තේම ඉදගෙන ජීවිතය අමාරුවෙන් දුවන්නේ නෑ. මම හම්බ කරන මුදල්වලින් කොටසක් පින් දහම්වලට වෙන් කරනවා. ඒ වගේම විවේකය තියෙන හැම වෙලාවකම හොඳට නිදා ගන්නවා. හොඳට කනවා බොනවා. මගේ ආහාර වේලට පලතුරු වර්ග ගොඩාක් එක්කර ගන්නවා. මගේ මේ අලුත් ජීවිතය පටන් අරන් දැනට අවුරුදු 6ක්. මගේ පොඩි දුව රෝස්ට අවුරුදු 13යි, එයා තාම පාසල් යනවා. ලොකු දුව අංජලී එයගේ විදෙස් අධ්‍යාපන කටයුතු ඉවර කරලා අපිත් එක්ක එකතුවෙල අලුත් ගමනක් යනවා. අපි තුන් දෙනාම අයියත් එක්ක ප්‍රසංග වේදිකාවේ වැඩ කරගෙන යනවා. වේදිකාවේ දක්ෂතා පෙන්වන කලාකරුවන් හතර දෙනෙක් ඉන්න එකම පවුල අපි. කිසිම දවසක අයියයි මමයි උඹ බං බොලං කියලවත් දෙන්නට දෙන්නා කතා කරලා නැහැ. මං හිතනවා මේ හැමදෙයක් එක්කම සතුටින් ගෙවන ජීවිතය නිසා මං ඉබේම ලස්සන වෙනවා කියලා.

කවුද මේ අයියා.සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ හිමිකරුවා, ජනප්‍රිය ගායක අජිත් මුතුකුමාරණ. එයා තමයි. ඔහු මගේ ජීවිතයට එක්තු වෙලා දැනට අවුරුදු 6ක් විතර වෙනවා. අජිත් ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නෙ.මම පොඩි කාලේ ඉඳලම ආගමට දහමට ලැදියි. අපිට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම අපි හතරදෙනා දළදා මාළිගාවට,කතරගමට, අනුරාධපුරේට හරි එහෙමත් නැත්නම් කොහේ හරි පන්සලකට තමයි යන්නේ. මම කරන මේ පින් දහම්වල අතුරු ඵලයක් විදිහට තමයි අජිත් අයියා මගේ ජීවිතයට ලැබුණේ කියලා මම හිතන්නේ.මගේ ජීවිතයට බුදුන් වහන්සේ හරි දෙවියන් වහන්සේ හරි දුන්න ලොකුම ආශිර්වාදය තමයි ඔහු. උපතින්ම මම දමිළ හින්දු භක්තිකයෙක්. මගේ පොඩි දුව රෝස් මෙලඩි දිව්‍යාංජලී ලැබුණට පස්සෙ මම බුදු දහම වැලඳ ගත්තා. බෞද්ධ දර්ශනය ඔස්සේ ජීවිතයට සතුට සැනසුම ළඟා කරගන්න මට පුළුවන් වුණා. අපේ ගෙදර දවස පුරාම පිරිත් දාලා තියෙන්නෙ. අපි ‍උදේ හවස බුදුන් වහන්සේට, ගණ දෙවියන්ට, කතරගම දෙවියන්ට, සරස්වතී මෑණියන්ට සහ ලක්ෂ්මී දේවියට මල් පහන් පූජා කරනවා.

ඔබේ ගෙදර සුරතලුන් රැසක් ඉන්නවා. ඒ ගැන කිව්වොත්.ඉස්සරනම් හොඳ වර්ගයේ බල්ලන් පූසන් ඇති කරන්න තමයි මම පුරුදුවෙලා හිටියේ. නමුත් දැන් නම් අපේ ගෙදර ඉන්නේ පාරවල් පන්සල්වල අසරණවුණ සතුන්. අජිත් අයියා තමයි කිව්වේ හොඳ වර්ගයේ සත්තුන්ට ඕනෑම නිවෙසක සැලකිල්ල, ආදරය, හොඳ කෑම වර්ග ලැබෙනවා. ඒත් අසරණ වුණ සත්තුන්ට අනුකම්පාව කෑම බීම අඩුයි කියලා. ඒ නිසා පාරවල් වල තුවාල වෙලා හිටපු සත්තු ගොඩක් තමයි අද අපේ ගෙදර ඉන්නේ. ඔවුන්ව පුද්ගලික රෝහල්වලින් ලොකු ගාණක් දීලා සනීප කර‌ගෙන අපි අරන් ඇවිත් දැන් එයාලව ආදරයෙන් බලා ගන්නවා.

සුරතලයට සත්තු හදන්න ගත්තේ කොයි කාලේ ඉඳන්ද. මට අවුරුදු 7ක් විතර කාලයේ ඉඳන්ම මම සත්තු හදන්නවා. ඉස්සෙල්ලාම මම හැදුවේ එහා ගෙදරින් හොරකම් කරගෙන ආව ඌරු පැටියෙක්. මම එයාව අපේ ගෙදර තියන් හැදුවේ හොරෙන්. මම ඌරු පැටියෙක් හදනවා කියලා අපේ පවුලේ කවුරුත් දැනන් හිටියේ නෑ. ඒ විතරක් නෙවෙයි මම දවසක් වැටිලා හිටපු කපුටු පැටියෙකුත් හදලා තියෙනවා.